Wednesday, May 23, 2018

මුණසිංහපුර ආරණ්‍යයෙහි කුටි සේනාසනය

අප විසින් සාදා නිම කරන්නට යෙදුනු මුණසිංහපුර ආරණ්‍යයෙහි කුටි සේනාසනය, අතීත අනාගත වර්ථමාන යන කාලත්‍රයටම අයත් වූ සිව් දිගින් වඩින මහා සංඝයාගේ සුඛ විහරණය පිණිසම, රුදුරු ගොර සතුන්ගෙන්, විෂඝෝර සර්පාදීන්ගෙන් සහ මැසි මදුරුවන්ගෙන්ද ශීත ඌශ්ණාදියෙන්ද ආරක්ෂා වනු පිණිසම, සුව සේ වැඩ සිට බවුන් වඩා ධ්‍යාන මගඵල වඩමින් උතුම් නිවන් මග පිරීම පිණිසම මහා සංඝයා විෂයෙහි අතපැන් වත්කොට මෙසේ සඝසතු කොට පූජා කළ වගයි.....!!!


      අප හට එම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන් මුණ ගැසුනේ අප නිවසේ ඇති වූ කුටියක් සාදා පූජා කිරීමේ යෝජනාවකට අනුව ඉඩමක් සොයා ඇවිද යන ගමනේදීය.. එපිටවල ප්‍රදේශයේ කැළෑබද ඉඩමක් සොයා ගැනීමේ අරමුණින් ප්‍රදේශවාසීන්ගෙන් කරුණු විමසන විට දැනගත් තොරතුරකට අනුව මමත් මාගේ මවත් බොහෝ දුෂ්කර වූ කඳු පල්ලම් ගල් මුල් බොරළු සහිත වනගත මාර්ගය දිගේ උන් වහන්සේ සොයා යන්නට පිටත් විණි. මාර්ගය හරහා ගලායන දිය පහරවල්, ගල් මුල් මතින් ගමන් කොට අප එහි ළඟා වන විටත් උන් වහන්සේගේ දැඩි වීර්‍යයද ගම් වාසීන්ගේ සහයද ඇතිව කුටි සේනාසනයේ බිත්ති බැඳ වහලය ගසා කපරාරු කොටද අවසන් වී තිබිණ. උන් වහන්සේ සමඟ කතා කොට දැන හැඳිනගෙන අපගේ අදහසද උන් වහන්සේට කියූ අපට උන් වහන්සේ විසින් අපගේ අදහස ඉටු කර ගැනීමට බොහෝ උපදෙස්ද හෝරාවක පමණ ධර්මානුශාසනාවක්ද කරන්නට විණි. ඒ වන විටත් හිරු බැස යමින් සවස් වෙමින් පැවති නිසා අප උන් වහන්සේට නමස්කාර කොට පිටත්ව ආයෙමු..
     
සති කිහිපයකට පසු නැවත උන් වහන්සේ සිහි වී දානයද පිළියෙළ කරගෙන මවත් සමඟ එහි ගියෙමු. අප විසින් ප්‍රණීතව සකස් කර ගත් දානයද, ප්‍රණීත පළතුරුද උන් වහන්සේ වෙත පිළි ගන්වා කුටි සේනාසනයෙහි වැඩ කටයුතු පිළිබඳව විමසන්නට විය.. එවිට කුටියෙහි වැඩ කටයුතු එක තැන නතර වී ඇති බවත් පිටතින් වැසිකිළියක් සාදා ගැනිමට අවශ්‍ය බවත් උන් වහන්සේගෙන් දැනගන්නට ලැබුනි. ඒ මොහොතේම දෙවරක් නොසිතා මහත් වූ ශ්‍රද්ධාවෙන් චිත්ත ප්‍රීතියෙන්ම වැසිකිළියක් සාදා පූජා කිරීමේ වගකීම අප විසින් භාර ගත්තෙමු..
    
දින කිහිපයකට පසු පවුලේ පිරිසද එකතුව නැවත ආරණ්‍යය වෙත අප ගියේ වැසිකිළි වළ කැපීමටයි. පැවති වැසි තත්ත්වයත් අධිකව පැවති ජල උල්පතුත් නිසාවෙන් ජලය ඉසිමින්ම කළුගල් කඩමින් වළ තරමක් හාරා අවසන් කළෙමු. නැවතත් මම කිහිප දවසක්ම මවත් සමඟ මෝටර් සයිකලයෙන් එහි ගොස් ගල් වැලි බ්ලොක් ගල් අදිමින්, සිමෙන්ති කොන්ක්‍රීට් අනමින් එපිටවල ප්‍රදේශයේම පෙදරේරු මහත්මයෙකු සමඟින් වැසිකිළිය සාදා නිම කළෙමු.. අප එහි ගිය සෑම දිනකම ප්‍රණීතව දානයද සකසා බොහෝ ප්‍රණීත පළතුරු අතුරුපසද සමඟ දානය රැගෙන යාම මග නොහැරියෙමු.

 අනතුරුව මාගේ පියා සමඟින් කුටියෙහි උලුවහු ජනෙල් දොරවල් සියල්ලම කපා සවි කිරීම කර මනාව අප කළ්‍යාණ මිත්‍රයෙකු සමඟ දැවයෙන් කළ සියළු දෑ වෝටර්බේස් පින්තාරු කිරීම සිදු කළෙමු. පියා විසින්ම බුදු කුටියට අලංකාරවත්ව රාමුවක් ගසා වීදුරුවක්ද සවි කළේය. මාගෙ නැගෙණිය විදුලි පංකාවක් පූජා කර ගත්තාය.. කුටි සේනාසනය ඉතා අලංකාරවත්ව පින්තාරු කළ අප බිමට සරිලන තීන්තද රැගෙන ගොස් බිම ගා සක්මන් මළුවද මනාව පින්තාරු කළෙමු...
කුටි සේනාසනය සඟසතු කොට පිදුනා වූ මහා සාංඝික දානයට පළතුරු අප විසින් පූජා කර ගත්තෙමු. තවද මහත් වූ භාග්‍යය නම් අතපැන් වත්කොට යතුරද සංඝයා විෂයෙහි පුදා සඟසතු කොට කුටි සේනාසනය පිදීමේ භාග්‍යය මා හට ලැබීමයි..

 ඕකාස මයං භන්තේ ඉමං කුටි සේනාසනං ආගත අනාගතස්ස චාතුබ්දිසස්ස භික්ඛු සංඝස්ස මීයාදේම... දුතියම්පි මයං භන්තේ.................... 

"යමෙකු කුටියක් සදා පුදන්නේද ඔහු සියල්ල දුන්නා වේ"
මේ පින්කම් සඳහා දායක වූ ඔබ සියළු දෙනාද මා තරම්ම හෝ මටත් වැඩියෙන් චිත්ත ප්‍රීතිය ඇති කර ගනිත්වා.... මේ සියළු කුසල් සඳහා මෙතෙක් කලක් දැනුවත්ව හෝ නොදැනුවත්ව, සෘජුව හෝ වක්‍රව කවරම ආකාරයකින් හෝ උදව්වක් උපකාරයක් කළ සියළු දෙනාට මෙන්ම, සිතිවිල්ලකින් හෝ විරුද්ධත්වයක් නොදක්වා උපකාර කළ, දැක බලා සතුටු උනු සියළු දෙනාද මේ පිං අනුමෝදන් වෙත්වා... ඒ අයගේ ඤාති බන්ධු පරපුරද අනුමෝදන් වෙත්වා.....!!
මෙම අට මහා කුසලයෙන් රැස් වූ සියලූම කුසලයෝ ඝටීකාර සනංකුමාර සහම්පතී ආදී සියලු බ්‍රහ්මයෝද, ශක්‍ර දේවේන්ද්‍රයන්, විශ්වකර්ම දෙව්පුතු ඇතුළු සදෙව්ලෝ වාසි සියළු දෙවියෝද චිත්ත ප්‍රීතියෙන්ම අනුමෝදන් වෙත්වා...!! ඉශ්ඨ දේවතාවුන් වහන්සේලාද, සියළු භූම්‍යස්ත දෙවි දේවතාවුන් වහන්සේලාද , නා ලොව සියළු නාගයෝද, අනන්ත සසරෙහි යම් තාක් පිං කැමැති ඤාතීන්ද, පිං ගත හැකි පිනට කැමති සියළු ආකාරයේ යක්ෂ, භූත, ප්‍රේත, පිසාච කුම්භාණ්ඩාදී අමනුශ්‍යයන්ද ඇතුළු සියලූම සත්ත්වයෝ මේ කුසල් සතුටු සිතින්ම අනුමෝදන් වෙත්වා... අනුමෝදන් වෙත්වා... අනුමෝදන්ම වෙත්වා.....!!
 සියළු දෙනා සංසාර දුකෙන් මිදෙත්වා..! සංසාර කතරින් මොදෙත්වා..! සංසාර බියෙන් මිදෙත්වා..! සංසාර ගින්නෙන් මිදෙත්වා..!! අසාර වූ අනාථ වූ ලෙඩ දුක් බිය ජරා මරණ සහිත මෙම සංසාර නිරෝධයෙන් මේ ගෞතම සම්බුද්ධ සාශනයේදීම උතුම් නිවන් සුවයෙන්ම සැනසීම ලබත්වා..!!!



















































No comments:

Post a Comment